ඔබට ආරක්ෂක ඇඳුම් කට්ටලයක් අවශ්‍යය වෙන්නේ ඇයි? (Why you need gear while you riding a Motorbike)

අපි මෙහෙම කතාවට බහිමු. අනවශ්‍යය ගැබ් ගැනීමක් වලක්වන්න ඕනනම් කරන්න තියෙන්නේ ලිංගිකව හැසිරීමේ දී ඒ සඳහා අවශ්‍ය කරන ආරක්ෂිත ක්‍රමයන් භාවිතා කිරීමනේ. ඉතින් ඔබ මෝටර් සයිකලයක් පදවන විට එයින් ඇතිවන අනතුරකින් ඔබට සිදුවන හානිය අවම කරගැනීමට අවශ්‍යයනම් ඔබට කරන්නට ඇත්තේත් ඒ සඳහා තිබෙන ආරක්ෂිත ක්‍රමයන් භාවිතා කිරීම පමණයි. කොච්චර මමත් මේ දේ ඔයාට පැහැදිලි කරලා කියලා දුන්නත් මේ ගයිඩ් එකේ තියෙන විදිහට ඔයා බයික් එක පැද්දත්, අනතුරක ස්වභාවය කොහොමද කියලා ඔයාටවත්, මේක ලියන මටවත් කියන්න විදිහක් නැහැ. මට පුලුවන් වෙන්නේ ඔයාට සිද්ධ වෙන අනතුරෙන් උපරිම ආරක්ෂාවක් වෙන හැටි කියලා දෙන්න විතරයි.

ඔයා මේ ලිපිය කියවනවා කියන්නේ ඔයාටත් මෝටර් සයිකලයක් තියෙනවා, නැත්නම් ගන්න අදහසක් තියෙනවා කියන එකයි. නැත්නම් අමතරව තව දැනුමක් එකතු කරගන්න ඕන කියන අයත් ඉන්නවනේ. ඇත්තටම මෝටර් සයිකලයක් පදිනවා තරම් තෘප්තියක් ලෝකේ නැහැයි කියන කොටසකුත් ඉන්නවා. මමත් ඒ ඝණයට අයිති කෙනෙක් කියලා කිව්වත් වැරැද්දක් නෑ. 

ඉතින් වැඩිය කියවන්නේ නැතිව අපි අද මාතෘකාවට බහිමු.

හෙල්මට් :
හොඳම දේ තමයි ඔයා මීටර් 10 ක් ගියත් හෙල්මට් එකක් නම් දාගෙන යන එක. මොකද අනතුරක් වෙන්නේ අපිට කියලා නෙමෙයි. සමහර විට ඔයා ගෙදරින් එලියට දාද්දී පැච් එකක් ගිහින් ඔයාව ඇද වැටෙන්න පුලුවන්. හෙල්මට් එකෙන් තමයි ගොඩක්ම අනතුරු වලින් අනතුර සිද්ධ වුන මනුස්සයාව ආරක්ෂා කරන්නේ. අනික මෝටර් සයිකල් අනතුරකදී ගොඩක්ම දරුණු විදිහට තුවාල වෙන තැනක් තමයි ඔලුව ආශ්‍රිත ප්‍රදේශය. උඩින් ගිහින් ඇදගෙන වැටුනත්, වැදුන ගමන් ඉස්සරහට පැන්නුනත් කොහොම මොන දේ වුනත් ඔලුව තමයි මුලින්ම වැදෙන්නෙත් වගේම අපි ඔලුව තමයි ආරක්ෂා කරගන්න ඕනෙත්. මටනම් කියන්න තියෙන්නේ හෙල්මට් එකක් දාගෙන පදින්න උවමනාවක් නැත්නම් කරුණාකරලා දෙමාපියන් මේක කියවනවනම් ඒ කෙනාට ඒ යතුරු පැදිය පදින්න දෙන්න එපා. 

හාල්ෆ් හෙල්මට් -:


ඒ වගේම හාෆ් හෙල්මට් ගැන කියන්නත් ඕන. ගොඩක් තැන්වල හාල්ෆ් හෙල්මට් කිව්වට මේකට කියන්නේ ස්කල් කැප් (Scull cap) කියලා. මේ හෙල්මට් එක පාවිච්චි කරන එකෙත් ඇති වැරැද්දක් නැහැ. හැබැයි පොඩ්ඩක් හිතන්න, ඔබ වේගයෙන් ගමන් කරන විට යම් කිසි අනතුරක් වෙනවා. යතුරු පැදියක වන අනතුරයි, මෝටර් රථයකින් වන අනතුරයි වර්ග දෙකක්. යතුරු පැදියෙන් වෙන අනතුරේදී ඔබව යතුරු පැදියෙන් අහකට විසික් වෙලා යනවා. මෙන්න මේ අවස්ථාවේදී ඔබ විසික් වෙලා ගිහින් වැටුනොත් ඔලුව බේරගන්න මේ හෙල්මට් එකෙන් පුලුවන් වෙනවා. නමුත්, ඔබගේ මුහුණට සිද්ධ වන හානිය පිළිබඳව කිසිම ගණනය කිරීමක් කරන්නට අමාරුයි. සමහර විට මුහුණට සහ හිසට සම්පූර්ණ ආරක්ෂාව නොමැති නිසා ඔබ මියයාමට පවා තිබීමේ ඉඩකඩ වාර ගණන අනන්තයි. ඒ වගේම මුහුණ පමණක් නෙමෙයි, ඔබේ කන්, නළල, නහය, නිකට මේ සියල්ලක්ම මෙම ස්කල් කැප් එකේදී තිබෙන්නේ විවෘතවයි. 


තුන්කාලේ හෙල්මට් -:

භාග හෙල්මට් වලින් පස්සේ ගොඩක් අය පාවිච්චි කරන එකක් තමයි මේ තුන්කාලේ හෙල්මට් එක. ගොඩක් ස්කූටර් බයික් පදින අය තමයි මේ වර්ගයේ හෙල්මට් එකක් පාවිච්චි කරන්නේ. ඇත්තටම කිව්වොත් මේ හෙල්මට් එක ෆුල්ෆේස් හෙල්මට් එක තරමටම නැතිවුනත් පොඩ් ලුක් එකක් තියෙනවා. ඒ වගේම ඔයාගේ ඔලුවේ පසුපස හරියට වගේම කන් වලටත් මේ හෙල්මට් එක හරහා ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම මේ හෙල්මට් වල වයිසර් එකක් තියෙන නිසා ඔබට මාර්ගයේ දී ඔබ වෙතට ඇදී එන ගල්, වැලි, දුහුවිලි, කෘමීන් යන ආදියෙනුත් ඔබගේ ඇස් ආරක්ෂා කරගැනීමට හැකියාවක් තිබෙනවා. නමුත් මෙම හෙල්මට් එකෙනුත් නිසියාකාර ආරක්ෂාවක් ඔබගේ නිකටට, නාසයට සහ මුහුණට ලබාදෙන්නේ නැහැ. එමෙන්ම යම් අනතුරක් සිදුවූවහොත් ඔබගේ මුහුණ ඉදිරියේ ඇති වයිසරය පිපිරී ගියහොත් ඔබගේ මුහුණ මෙන්ම ඇස් දෙකට පවා යම් කැපීම්, සීරුම් අනතුරු සිදුවිය හැකි බව ද මේ සමඟම කිව යුතුයි.

ෆුල්ෆේස් හෙල්මට් -:

අපි දැන් කතා කරමු ෆුල්ෆේස් හෙල්මට් එක ගැන. වේගයෙන් සහ නොසැලකිලිමත් කමින් මෙන්ම ඉතාමත් දැඩි ආරක්ෂාවක් උවමනා පුද්ගලයෙකුට මෙන්ගැම ඕනෑම පුද්ලගලයෙකුගේ ආරක්පෙෂාවට ගැලපෙනම හෙල්මට් වර්ගය තමයි මේ. මේ ෆුල්ෆේස් හෙල්මට් එක පැලදගෙන අනතුරක් සිදුවූවහොත් ඔබගේ මුහුණට, මොලයට සහ බෙල්ලෙන් උඩ ඇති අනිකුත් අවයව වලට සිදුවිය හැකි හානිය 15%ක් පමණයි. 





හෙල්මට් එකක් තෝරාගැනීමේ අයිතිය ඔබට භාරයි. ඔබේ විලාසිතාවට ගැලපෙන අයුරේ හෙල්මට් එකක් තෝරාගැනීම ද අයිතිය ඇත්තේ ඔබටයි. එමෙන්ම ඔබේ ආරක්ෂාව පිළිබඳ තීරණය කිරීමට ද අයිතිය ඇත්තේ ඔබටයි. මමනම් මේ වෙනතෙක්ම ෆුල්ෆේස් හෙල්මට් භාවිතා කරන පුද්ගලයෙක් අනතුරකින් ඔහුගේ බෙල්ලෙන් උඩ අවයවයක තුවාලයක් වෙලා තියෙනවා දැකලාම නැති තරම්. 


පාවහන් :
ගොඩක් වෙලාවට හිස්වැසුම විතරක් පාවිච්චි කරන අයට හිසට තුවාලයක් නොවුනට පාද වලට බොහෝ සෙයින් අනතුරු වෙනු ලබනවා. මතක තියාගන්න, ඔයාගේ කකුලක් හරි මොකක් හරි අස්ථියක් බිදුනොත් සමහර විට ඔබේ යතුරු පැදියේ මිළට වඩා මිළක් එය සුවපත් කරගන්නට වැය වන්නට පුලුවන්. කෙනෙක් කියන්න පුලුවන් අවුලක් නැහැ, මම ඉන්ෂුවරන්ස් එකක් දාලා තියෙන්නේ කියලා. ඉන්ෂුවරන්ස් එකෙන් ඒක ගෙව්වා කියමු. හැබැයි ඉන්ෂුවරන්ස් එකෙන් නෙමෙයි ඔයාව සුවපත් වෙන්නේවත්, ඔයාට මාස ගානක් නැත්නම් අවුරුදු ගානක් එක තැනකටම වෙලා ඉන්න වෙන්නේවත්. ඒ සේරම දුක විදගන්න වෙන්නේ ඔයාටමයි. විවෘත පාදයන් ඇති විට අනතුරක් වූවහොත් බොහෝ විට අස්ථි බිදී යාම දක්වා එය දුරදිග යා හැකියි.


සෙරෙප්පු -:
මේ ගැනනම් කතා කරන්නම වෙනවා. ගොඩක් මේ තරුණ අවධියේ අය කරන්නේ හෙල්මට් එක දාගත්තා, ෂෝටක් දාගෙන සෙරෙප්පු දෙක පිටින්ම බයික් එකේ යනවා. ඊට වඩා හොඳයි සෙරෙප්පුවක්වත් නැතිව බයිසිකලේ පදින එක. ඒකට හේතුව ඔබේ සෙරෙප්පු දෙකෙන් යතුරු පැදිය අනතුරක් වූ විට එයින් ඔබේ පාද වලට කිසිම ආරක්ෂාවක් ලබා නොදීමයි. මොකද ඇඟිලිවලටවත්, කකුලටවත්, වළලුකරවල් වලටත්, මුලු පාදයමත් ඔබට අහිමි වීමේ ප්‍රතිශතය බොහෝමත්ම ඉහළයි.

සපත්තු -:
අපි හිතපු ඔයා වැඩ ඉවර වෙලා බයිසිකලේ යාලුවෙක්ව හම්බවෙන්න යනවා කියලා, නැත්නම් ජිම් එකට යනවා කියලා. සපත්තු වලින් අනතුරක දී සිදුවන හානි වලින් යම්තාක් දුරකට ආරක්ෂාවක් සපයනවා. ඒත් වළලුකරට සහ පාදයේ අනිකුත් ස්ථානයන් වලට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන්නේ නැහැ. 

බූට්ස් -:
මමත් බූට්ස් වලට කැමතියි ගොඩක්. බූට් සපත්තු වලින් ඔබේ කකුල 80% ක පමණ අනතුරක් වීමේ දී ආරක්ෂා කරන්න. හැබැයි එක දෙයක් තියෙනවා. යම් කිසි විදිහට ඔබ බූට්ස් පැලදගෙන ඉන්නවිට අනතුරක් වෙලා වළලුකරෙහි අස්ථි විනාශ වීමක් වුනොත් බූට් ගලවන විට ඔබට තිබෙනවාට වඩා වේදනාවක් ගෙන දීමට ද පුළුවන්. 

යතුරු පැදි ධාවනය සඳහාම ඇති විශේෂිත සපත්තු වර්ග -:
මේකයි වැදගත්ම දේ. මේ විශේෂිත සපත්තු පැලදගෙන සිටින විට ඔබ අනතුරක් වූවහොත් ඔබගේ පාදය සහ එහි ඇති අනිකුත් කොටස් වලට හානි සිඳුවීම ඉතාමත් කලාතුරකින් සිදුවන දෙයක්. හේතුව යම් අනතුරකදී මෙම සපත්තු වලින් සහ එහි නිමවෙන ඇඳුම් කොටස් වලින් අනතුරෙහි පීඩනය ඔබේ පාද වලට වැඩි පීඩනයක් එකතු කිරීම නවත්වා දමනවා. ගොඩක් අය කැමති නැහැ මේ වර්ගයේ සපත්තු පලදින්න. ඒ තමන්ගේ දෛනික විලාසිතාවන්ට නොගැලපෙන නිසා. නමුත් මේ වන විට වෙළඳපොලට දෛනික විලාසිතාවන්ට ගැලපෙන අයුරින් පවා මෙම විශේෂිත ආරක්ෂාකාරී සපත්තු වර්ගයන් පැමිණෙමින් තිබෙනවා. 


ජැකට් :
ඔබ බොහෝ විට ජැකට් එකක් පාවිච්චි කරනවා ඇත්තේ වැස්සෙන් ආවරණය වෙන්න, නැතිනම් හිරු එළියෙන් ආවරණය වීමට, නැතිනම් තමන්ගේ විලාසිතාවක් අයුරින් ද විය හැකියි. කෙසේ වූවත්, ඔබ භාවිතා කරනුයේ නිෂ්පාදනය අතින් ඉහළ මට්ටමක ඇති ජැකට් එකක්නම් ඔබට අනතුරක් වූ විට දී පවා මෙම ජැකට් එක නිසා ඔබට සිඳුවීමට තිබෙන අස්ථි බිදීයාම් සහ තුවාල වීම් අවම කිරීමට පුළුවන. 


අත් රහිත ජැකට් වර්ග -:
ගොඩක් ලංකාවේ පුද්ගලයන් මෙම අත් නැති ජැකට් භාවිතා කරනවා ඔබ වුනත් දකින්නට ඇති. නමුත්, මෙම ජැකට් එක පැලදගෙන සිටින විට ඔබ යතුරුපැදියෙන් වැටුනහොත් ඔබේ ශරීරයේ තිබෙන හැම අස්ථියක්ම බිඳී යනු ඇත. ඔබේ හම ඉරී යනු ඇත. 

ලෙදර් ජැකට් වර්ග -:
ගොඩක් අය ලෙදර් ජැකට් එක අදින්නේ තමන්ගේ ඇගේ ප්‍රමාණය පෙන්නන්න කිව්වොත් නිවැරදියි. ගොඩක්ම තරුණ අය ස්ලිම් ෆිට් ලෙදර් ජැකට් අරගෙන තේරුමක් නැතිව අනිත් අයට පේන්න එහාට මෙහාට යනවා. මතක තියාගන්න, ඔයාගේ ශරීරයේ තරමින් ඔබ සතුටු වෙනවා වෙන්නට පුලුවන්. නමුත් අනිත් අයට එය එහෙම නොවෙන්නත් පුළුවන්. හැබැයි තව කාරණයක් තියෙනවා. ඔබ දිගු ගමනක් යනවා කියමු. නුවර ඉදන් යාපනයට යනවා කියමු. හොඳටම රස්නෙයි. මේ ලෙදර් ජැකට් එකෙන් පුලුවන් රෂ්ණිය නිසාවෙන් ඔබේ ශරීරයෙන් අඩුවෙන විටමින් ඩී ප්‍රමාණය පාලනය කරන්න. එයින් ඔබේ සම ආරක්ෂා කරගත හැකියි. ඔබ පලදින ටී ෂර්ට් එකට වඩා ඔබේ සම මේ මඟින් ආරක්ෂා කර දෙනු ලබනවා. නමුත් ඔබට අනතුරක් වූ විට මෙම ලෙදර් ජැකට් එක තුලින් ඔබට ආරක්ෂාවක් නම් ලැබෙන්නේ නැහැ.

යතුරු පැදි ධාවනය කිරීම සඳහාම ඇති ජැකට් වර්ග -:
මෙම ජැකට් වර්ග භාවිතා කිරීමෙන් අනතුරක් වූ විට ඔබට සිඳුවන හානිය බොහෝ සෙයින් අඩු වේ. බොහෝ විට මෙම ජැකට් වර්ගයන් වෙළඳපලට පැමිණෙන්නේ හුදෙක් ජැකට් එක පමණක් නොව ශරීරයෙහි අස්ථි ආරක්ෂා කරගැනීමට තවත් නොයෙකුත් උපාංගයන් මෙයට ඇතුලත් කරමිනි. බොහෝ විට CE අනුමත කරනු ලබන සහතිකයක් තිබෙන ජැකට් වර්ගයක් ගැනීම නුවණට සුදුසු ක්‍රියාවකි. හැබැයි එක අවාසියක් තියෙනවා මේ ජැකට් වලදී. හේතුව, මුලු මනින්ම ශරීරය වැසී ඇති නිසා රෂ්ණිය දේශගුණයකදී ඔබට යම් අපහසුතාවයන්ට මුහුණ දෙන්නටනම් වනු ඇති. 


ග්ලවුස් (අත් ආවරණ) :
ඔබේ අත් නොමැතිනම් ඔබට යතුරුපැදිය පැදවිය නොහැක. යතුරු පැදියක් පදවන ඔබ ඔබේ දෑත් පිළිබඳ බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුයි. බොහෝමයක් අනතුරු වලදී ආරක්ෂිත අත් ආවරණ නොපැලදීම හේතුවෙන් අත් තුවාල කරගත්තු අය බොහෝමයක් ඉන්නවා. රස්නේ දවස් වලට ඒ වගේ එකක් පැලදගෙන ඉන්න එක කෙනෙක්ට හිතන්න පුලුවන් විකාරයක් කියලා. නමුත් තමුන්ගේ ආරක්ෂාව සලසවා ගත යුත්තේ තමුන් විසින්මයි. 



ආරක්ෂක අත් වැසුම් නොපැලදීම -:
ඔබ ආරක්ෂක අත් වැසුමක් භාවිතා නොකරන සිටින විට දෑත් වලට දාඩිය දැමීම අඩුයි. නමුත් මතක තියාගන්න, ඔබේ දෑත් වලට කිසිම ආරක්ෂාවක් නොලැබෙන බව හදිසි අනතුරක් වූ විට. 

ඇඟිලි වලට ආරක්ෂාවක් නොමැති අත් වැසුම් වර්ග -:
ඇඟිලි වලට ආරක්ෂාවක් නොමැති අත් වැසුම් බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා. ගොඩක් අයට ඇත්තටම ඒක ලස්සනයි විලාසිතාවක් විදිහට ගත්තොත්. මේ අත් වැසුම් වර්ගය ඇත්තටම කිසිම ආරක්ෂාවක් නොමැතිව ගමන් කරනවාට වඩා පැලදගෙන සිටීම පවා වැදගත්. හේතුව යම්තාක් දුරකට හෝ ඔබට සිදුවන අනතුරින් තුවාල වීමට ඇති ඉඩකඩ අවම වෙනවා. නමුත් බොහෝ විට ඔබේ ඇඟිලි වලට සහ මැණික් කටුවට මෙන්ම අතට බරපතල ලෙස තුවාල වීම, අස්ථි බිදී යාමක් සිඳුවිය හැකියි. 

මැණික් කටුව ගාවට පමණක් ආරක්ෂාව ඇති අත් වැසුම් -:
මේ වර්ගයේ අත් වැසුම් දෙවර්ගයක් තියෙනවා. එක වර්ගයක් තමයි ප්ලාස්ටික් වලින් ඇඟුලි පුරුක් අස්ථි ආරක්ෂා කිරීමට නිපදවා ඇති අත් වැසුම්. අනිත් ඒවා නිකම්ම රෙදි වලින් නිපදවා ඇති අත් වැසුම්. මෙම ප්ලාස්ටික් යොදා නිෂ්පාදනය කර තිබෙන අත් වැසුම් වලින් ඔබට මනා ආරක්ෂාවක් ලබාදෙනු ලබනවා. එ් වගේම මෙම වර්ග දෙකෙන්ම ඔබේ ඇඟිලි වලට මෙන්ම බොහෝ විට අතෙහි අනෙකුත් කොටස් වලට සිදුවන හානිය බොහෝසෙයින් අවම කරනු ලබනවා. නමුත් මතක තියාගන්න, මැණික් කටුව සහ අතෙහි අනෙකුත් අස්ථි බිදී යා හැකි බවත්.

යතුරු පැදි ධාවනය සඳහාම නිපදවා ඇති ආරක්ෂිත අත් වැසුම් වර්ග -:
මෙම අත් වැසුම් බොහෝ විට අතෙහි වැලමිට දක්වා ආරක්ෂාව සපයනු ලබනවා. ඒ වැලමිට තෙක්ම මෙම අත් වැසුම විහිදී ගොස් ඇති නිසාවෙනි. මෙම අත් වැසුම් වලින් ඔබගේ අතෙහි ඇති සන්ධි වලට, අස්ථි වලට බොහෝ සෙයින් ආරක්ෂාවක් හිමිකර දෙනු ලබනවා. ඔබ තරඟයකට සහභාගි වන යතුරු පැදිකරුවෙක් වූවත්, සාමාන්‍යය මාර්ගයක යතුරු පැදිය ධාවනය කරනු ලබන පුද්ගලයෙකු වූවත් ඔබට අනතුරක් සිදුවන්නේ කුමන වේලාවක දැයි නිශ්චිතවම ඔබටවත්, මටවත් කීමට හැකියාවක් නොමැත. ඔබගේ ආරක්ෂාව සලසා ගත යුත්තේ ඔබ විසින්මයි.


කලිසම් වර්ග :
ඉනෙන් පහළ ආරක්ෂාව කොපමණක් අවශ්‍යයදැයි යන්න තීරණය කල හැක්කේ ඔබේ පෞද්ගලික මතයට පමණයි. නවතම තාක්ෂණය තුලින් විලාසිතාවන්ට ගැලපෙන අයුරින් නිර්මාණය කරනු ලබන විශේෂිත කලිසම් වර්ග මේ වන විට වෙළඳපොළට පැමිණෙමින් තිබෙනවා. 



සාමාණ්‍යය කලිසම් වර්ග -:
බොහෝ යතුරු පැදි ධාවකයින් නොකරන දෙයක් තමයි තමන්ගේ ආරක්ෂාව තකා හොඳ කලිසම් වර්ගයක් තෝරා ගන්නේ නැති එක. ගෙදර තියෙන ඩෙනිමක්, නැත්නම් ෂෝටක් ඇඳගෙන තමන්ගේ ලේසියට යතුරු පැදියේ ගමන් කරනවා. මතක තියාගන්න. රෙදි කියන්නේ පොඩි පීඩනයකින් පවා ඉරෙන්නට පුලුවන් දෙයක්. අනතුරක දී ඔබ මාර්ගය දිගේ ලිස්සා ගියහොත් බොහෝ විට ඔබේ සම ඉරී යාමට පවා ඇති ඉඩකඩ වැඩියි. 

යතුරු පැදි ධාවනය සඳහාම නිෂ්පාදිය කලිසම් වර්ග -:
අනතුරකදී බොහෝ විට ඔබේ තුනටිය ප්‍රදේශයට, දණහිස ප්‍රදේශයට බලපෑමක් ඇති වීම ඉතාම ඉහළයි. මෙම ආරක්ෂිත කලිසම් වර්ග තුලින් ඔබට 100% ක ම ආරක්ෂාවක් ලබා නොදුන්නත් සිදුවන අනතුරෙන් යම් තාක් දුරකට අස්ථි බිදී යාම පවා මඟහරවා ගැනීමට හැකියාවක් තිබෙනවා. මෙම කලිසම් වර්ග රෙදි වර්ග වලින් නිෂ්පාදනය කර නොමැති අතරම විශේෂිත අමුද්‍රව්‍ය යොදා ගනිමින් පමණක්ම හුදෙක් මෙම කලිසම් වර්ග නිර්මාණය කර තිබෙන්නේ අනතුරකදී පීඩනය සහ ඇතිවන ඝට්ඨණයන් දරාගැනීමට හැකිවන අයුරිනි. 

----------------------------------------------------------
           w w w . M O T O G U I D E R . c o m           
          feel your journey without thinking twice          
----------------------------------------------------------


Post a Comment

0 Comments